තුන් ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ තරම් අසහාය ගෞරව පුද පූජාවනට ලක්වූ අන් ශාස්තෘවරයෙක් මහා ශ්‍රේෂ්ඨයෙක් නැත්තේ ම ය. ඒ උන්වහන්සේගේ චරිතයේ අති උදාරත්වය හෙයිනි. එබඳු වූ බුදුපියාණෝ “ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය ...” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදාරති.
මින් පැහැදිලි වන්නේ ‘ගිලානෝපස්ථානය’ යනු ඉතා උතුම් ගුණධර්මයක් බව ය. උන්වහන්සේ තමන්ම ගිලානෝපස්ථානයේ දී ආදර්ශවත් වෙමින් භික්ෂුව ගිලානෝපස්ථානයේ යෙදීමට ආදර්ශවත්වෙමින් භික්ෂුව ගිලානෝපස්ථානයේ යෙදීමට අනුදැන වදාළහ. පූතිගත්තතිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත බුදුරදුන් රෝගී උවැටන් ආදර්ශයෙන් පෙන්වූ කදිම ස්ථානයකි.
දිනක් අනඳ හිමි සමග භික්ෂූන් වහන්සේලාගේ සෙනසුන් බලා ඇවිදින බුදුරදුන්ට රෝගී භික්ෂුවක් හමුවිය. එම භික්ෂුව පිළිවිසීමේදී තමනට උපස්ථායකයෙකු නොමැති බව පැවසීය. බුදුරදුන් අනඳ හිමි ලවා දිය ගෙන්වා රෝගී භික්ෂුව ඉවතට ගෙන පැන් වත් කළ අතර අනඳ හිමියෝ රෝගියා පිරිසුදු කළහ. ඉන්පසු සිවුරු හඳවා බුදුරදුන් රෝගියාගේ හිස දෙසින් ද අනඳ හිමි පය දෙසින් ද ගෙන ඇදෙහි තැබූහ. විහාරස්ථානයේ භික්ෂූන්ගෙන් අසවල් සෙනසුනෙහි රෝගී භික්ෂුවට උපස්ථාන කෙනෙකු වන්නේදැයි බුදුරදුන් විමසූහ. භික්ෂූන් නැතැයි පිළිතුරු දුන් අතර බුදුරදුන් හේතු විචාළ කළ ඒ භික්ෂුව අන්‍ය භික්ෂූන්ට උපස්ථාන නොකරන්නේ යයි ද තවදුරටත් පිළිතුරු දුන්හ.
“මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මව්පියෝ නැත්තාහ. නුඹලා අන්‍යොන්‍ය ලෙස උපස්ථාන නොකරන්නේ නම් කවුරු උපස්ථාන කෙරෙත් ද! යමෙක් මට උපස්ථාන කරයි ද හේ ගිලනුන්ට උපස්ථාන කරයි. රෝගි භික්ෂුවට ආචාර්ය වරයෙක් උපාධ්‍යවරයෙක් වේ නම් ඔහු දිවිහිමියෙන් රෝගියාට උපස්ථාන කළ යුතුය. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. කිසිවෙකු රෝගියාට නැත්නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතුය” යනාදී ලෙසින් භික්ෂූන් වහන්සේට රෝගී උපස්ථානය ගැන කරුණු වදාළහ.
No comments:
Post a Comment