History


මේ සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේ මෙම භික්‌ෂු ගිලන් නිවාසය නිර්මාණය කරන්නේ උන්වහන්සේ මුහුණ දුන් සංවේදී අත්දැකීමත් සමගිනි.
අමිලසිරි භික්‌ෂු නිවාසයේ නිර්මාතෘ සහ සභාපති පූජ්‍ය මොදරවානේ අමිලසිරි හිමියන් ඒ අතීත කතාව අප සමඟ මෙසේ පැවැසූහ.
මීට වසර 14 කට පෙර මම කුරුණෑගල නගරයේ බස්‌ නැවතුම්පළක බිම වැතිරී හිටිය වයෝවෘද්ධ හිමිනමකට බනිස්‌ ගෙඩියක්‌ විසි කරන මවක්‌ දුටුවා. මේ සිද්ධිය දැකීමෙන් මම හරි සංවේගයට පත්වුණා. මම ළඟට ගිහින් බැලුවාම හිමිනම හොඳටම ඔත්පලවෙලා. උන්වහන්සේ මළ මුත්‍ර ගොඩේ හිටියා. පසුව මම ඒ හිමිනම මේ විහාරස්‌ථානයට රැගෙන ඇවිත් භික්‌ෂු ගිලන් මධ්‍යස්‌ථානය ආරම්භ කළා.
එදා - මෙදා තුර ගිලන්ව මෙහි සිටි භික්‌ෂූන් 56 නමක්‌ අපවත් වුණා. මේ අයගේ ආදාහන කටයුතු සිදු කරන්න මිනී පෙට්‌ටිය ගන්නේ ණයට. පසුව දානපතියකුට කියා ඒ ණය මුදල ගෙවා දමනවා. වසර 8 ක්‌ පිණ්‌ඩපාතෙ වැඩම කර හාමුදුරුවරු 65 නමක්‌ ජීවත් කළා. වයස අවුරුදු 102 ක නායක හිමිනමක්‌ද වයස අවුරුදු 05 ක සාමනේර හිමි නමක්‌ද මෙහි වැඩ සිටිනවා. මානසික රෝග, අංශභාගය, වයසට යැම නිසා හට ගන්නා රෝග නිසා අසරණ වූ භික්‌ෂූන් ගිලන් වෙලා මෙහි සිටිනවා.
කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ සහ අලව්ව රජයේ රෝහලේ වෛද්‍යවරු මෙන්ම ආයුර්වේද වෛද්‍ය ගාමිණී සුබසිංහ මහතා මෙහි පැමිණ රෝගීන් පරීක්‍ෂා කර බලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. මේ ස්‌ථානය නඩත්තු කිරීමට විශාල මුදලක්‌ වැය වෙනවා. කුඩා හිමිවරු පිරිවෙන් 06 කට යවනවා. වියළි ආහාර සිවුරු පිරිකර, බෙඩ් සීට්‌, කොට්‌ට, කොට්‌ට උර, පොත්පත් මෙහි දැඩි අඩුපාඩුවක්‌ව පවතිනවා. ඒත් මා මේ රටේ සැදැහැවත් මනුෂ්‍යයන් හා එක්‌ව ඒ අභියෝගයට මුහුණ දෙනවා. 
කීරික්‌කුලම රජමහා විහාරාධිපති ලෙස කටයුතු කළ අනුරාධපුර ඉන්දානන්ද හිමි දැන් 102 හැවිරිදි වියේ පසුවෙති. උන්වහන්සේ මෙසේ වදාරති.
මෙතන ඉන්න වියපත් හිමි නම මමයි. මෙහි ඇවිත් වසර තුනක්‌ විතර වෙනවා. ලොකු හාමුදුරුවෝ අපි හැමෝටම හොඳට සලකනවා. බෙහෙත් ලබා දෙනවා. ලොකු හාමුදුරුවෝ මතු ආත්මයක බුදුවෙනවා. මේ වගේ භික්‌ෂු ගිලන් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යනවාට. මේ ස්‌ථානය නොතිබෙන්න මෙහි සිටින හිමිවරු ගස්‌ ගල් යට අපවත් වෙලා.
උන්වහන්සේගේ හඬ අප හද කම්පාකරවයි. මහණකමේ හිඳගෙන මොදරවානේ අමිලසිරි හිමියන් මේ පුරනා පාරමිතාවේ ප්‍රමාණය අපට නොවැටහේ. මෙවන් කලෙක මෙවන් පොහොසත් සිත් ඇති හිමිවරු සසුන්කෙත සරු කරන ආකාරය අප බලා සිටින්නේ බැතිසිත් පෙරදැරිවය. දානයක්‌ දියයුතු නම් ඒ මෙවන් පින්සාර අරමුණු උදෙසාය. එවන් පිංවත්හු වැඩිමනත් තොරතුරු දුරකථන අංක 0779853518 හෝ 071 6269713 අමතා ලබාගනිතැයි අපි විශ්වාස කරමු.

No comments:

Post a Comment